Pages

Tuesday, October 18, 2016

පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් දෙවලපොලින් හමුවේ



     ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හමුවී ඇත. මෙම විදුහල් භූමි‍යේ ඉපැරණි සුසාන භූමියක් පැවති බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිළ අවසරය ඇතිව කැළණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ මූල්‍යමය අනුග්‍රහය මත මෙහි කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

       දැනට නිශ්චිතව කාලනිර්ණ‍ය කර නැතත් මෙම සුසාන භූමිය වසර 3000 ක් පමණ පැරණි බව කැණීම් කටයුතු සිදු කරන පුරාවිද්‍යා මහාචාර්‍යවරු අනුමාන කර ඇත. කැළණිය පුරාවිද්‍යා  පශ්චාත් උපධි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය මංගල කටුගම්පල , කථිකාචාර්‍ය රංජිත් බණ්ඩාර දිසානායක , කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය චන්දිම බෝගහවත්ත ඇතුලු පිරිසක් විසින් මෙහි කැණීම් කටයුතු සිදු කරනු ලබයි.
        ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 2400 ටය. මේ වන විට සිදු කර ඇති පුරාවිද්‍යා ගවේශන වලට අනුව මෙම යුගයට අයත් ඉතා පැහැදිළි සාක්ෂි අනාවරණය වන්නේ සබරගමු පළාතේ ඊසන දිග කොටසින් සහ ඌව පළාතේ නිරිත දිග කොටසිනි.
         මිනුවන්ගොඩ දෙවලපොල ආනන්ද මහ විදුහල් භූමියෙන් සොයාගත් සොහොන් බිමේ ඇති සොහොන්, මැටි ඔරු සුසාන/බරණි යන නම් වලින් හඳුන්වනු ලබයි. මෙම සොහොන් බිමට බොහෝ සෙයින් සමාන සොහොන් බිම් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹගෙආර රංචාමඩම විද්‍යාල භූමියෙන්ද , රුවන්වැල්ලේ නිකවලමුල්ල ප්‍රදේශයෙන්ද , අත්තනගල්ලේ කලඔටුවාව ප්‍රදේශයෙන්ද මීට පෙර පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
        දෙවලපොල විදුහල් භූමියෙන් සොයාගත් මැටි ඔරු සුසාන තුළ තිබූ මැටි බඳුන් කිහිපයක කැබලි සොයාගැනීමට කැණීම් සිදුකරන මහාචාර්‍යවරු සමත් වී ඇත. මෙලෙස මැටි බඳුන් සොහොන් තුළ භාවිතා කර ඇත්තේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමටය. එසේ මැටි බඳුන් වල දමා මැටි ඔරු තුළ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ප්‍රථමයෙන් එම මැටි ඔරු මැනවින් පුළුස්සා තිබේ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නටද හේතුව එයයි.
         දැනට සිදු කර ඇති කැණීම් කටයුතු වලට අනුව කාලනිර්ණය කර ඇති සුසාන භූමි කිහිපයක් තිබේ. බෙරගල සුසාන භූමිය ( ක්‍රි.පූ 2400 ) , හල්දුම්මුල්ල සුසාන භූමිය ( ක්‍රි.පූ 1750 ) , රංචාමඩම සුසාන භූමිය ( ක්‍රි.පූ 1350 ) එම සුසාන භූමි වේ.
        මෙසේ දෙවලපොල ප්‍රදේශයෙන් හමුවී ඇති සුසාන භූමියේ ඇති මැටි ඔරු සුසාන නමින් හඳුන්වන සුසාන වලට අමතරව වෙනත් ක්‍රම අනුගමනය කරමින් නිර්මාණය කරන ලද සුසාන භූමිද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත. ඒවා හැඳින්වීමට මහාශිලා සුසාන ( Megalithic burials ) හෙවත් ශිලාමංජුසා ( Cist burials ) යන නම් යොදන අතර , එවන් සොහොන් බිම් මධ්‍යම පළාතේ දඹුල්ලට නුදුරු ඉබ්බන්කටුව මහාශිලා සුසාන නමින් හඳුන්වන සුසාන භූමියෙන්ද , යාපහුවේ ගල් සොහොන් කනත්ත නමින් හඳුන්වන සුසාන භූමියෙන්ද , ගලේවෙලට නුදුරු යටිගල්පොත්ත සුසාන භූමියෙන්ද සොයාගෙන ඇත.
        මෙවන් කැණීම් කටයුතු වලින් පුරාණ මානවයාගේ සිරිත් විරිත් , සංස්කෘතික ලක්ෂණ හා සමාජ පසුබිම පිළිබඳව මනාවූ තොරතුරු සමුදායක් අනාවරණය කර ගැනීමටත් , එම දැනුම වැළලී යාමට ඉඩ නොදී සමාජගත කිරීමත් මෙම කැණීම් වල අරමුණ වන බව මෙවන් කැණීම් කටයුතු සිදුකරන පුරාවිද්‍යා මහාචාර්‍යවරුන්ගේ අදහසයි.

No comments:

Post a Comment